ආතතිය (Stress): හඳුනාගැනීම, රෝග ලක්ෂණ සහ කළමනාකරණ ක්‍රම
Written By Madushika Priyangani (Psychotherapist - Colombo Psychological Services (PVT) Ltd.)
ආතතිය (Stress) කියන්නේ මොකක්ද?
ආතතිය (Stress) යනු ජීවිතයේ නොවැළැක්විය හැකි අංගයකි. එය තනි පුද්ගලයකුගේ ශාරීරික, චිත්තවේගීය හා මානසික යහපැවැත්මට බලපාන, විශේෂයෙන්ම අපගේ හැකියාවන්ට වඩා වැඩි අභියෝගයකට මුහුණ දීමේදී හට ගන්නා මානසික ප්‍රතිචාරයකි.
මෙය ස්වභාවික ආරක්ෂණ ක්‍රියාවලියක් වන අතර, එය ධනාත්මක හෝ ඍණාත්මක ලෙස ක්‍රියා කරයි. නමුත් මෙය ස්වාභාවික ප්‍රතිචාරයක් වුවද, දිගු කාලීනව පැවතුණහොත් සෞඛ්‍යයට අහිතකර වේ.
උග්‍ර ආතති ආබාධය (Acute Stress Disorder) ලෙස සැලකිමට රෝග ලක්ෂණ 9ක් හෝ වැඩි ගණනක් සපුරාලීම අවශ්‍ය වන අතර එය දින 3 සිට මාස 1 දක්වා පවතී (DSM-5-TR).
ආතති රෝග ලක්ෂණ
ආක්‍රමණ රෝග ලක්ෂණ
පීඩාකාරී බව, ස්වේච්ඡාවෙන් සිදු නොවන මතකයන්, බියකරු සිහින, අතීතාවර්ජන (විඝටන ප්‍රතික්‍රියා) හෝ මතක් කිරීම්වලට නිරාවරණය වන විට දැඩි මානසික පීඩාව.
වැළැක්වීමේ රෝග ලක්ෂණ
ආතතිකාරකය හා සම්බන්ධ සිතුවිලි, හැඟීම්, ස්ථාන හෝ සංවාද ක්‍රියාකාරීව වළක්වා ගැනීම.
ඍණාත්මක සංජානන/මනෝභාවය
ධනාත්මක හැඟීම් දැනීමට නොහැකි වීම (ප්‍රීතිය, තෘප්තිය), තමා/ලෝකය පිළිබඳ අඛණ්ඩ නිෂේධාත්මක විශ්වාසයන් හෝ විඝටන මතකයන් අමතක කිරීම (සිද්ධියේ කොටස් අමතක කිරීම).
උද්දීපනය සහ ප්‍රතික්‍රියාශීලීත්වය
කෝපය, ආක්‍රමණශීලී හැසිරීම, නොසැලකිලිමත් හෝ ස්වයං-විනාශකාරී ක්‍රියා, අධි සුපරීක්ෂාකාරී බව, අතිශයෝක්තියට නැංවූ තිගැස්සී යන ප්‍රතිචාරය, දුර්වල අවධානය සහ නින්දට බාධා.
විඝටන රෝග ලක්ෂණ
යථාර්ථය පිළිබඳ වෙනස් වූ හැඟීම හෝ ප්‍රධාන තොරතුරු මතක තබා ගැනීමට නොහැකි වීම.
දෛනික ජීවිතයට ඇති බලපෑම්
වැඩ කටයුතු
කාර්ය සාධනය අඩුවීම, ප්‍රමාද වීම හෝ අතහැර දැමීම.
සබඳතා
පවුලේ/මිතුරන් සමඟ අනවශ්‍ය ලෙස තරහ යාම සහ නොසන්සුන් බව, වෙන්වී සිටිමට උත්සාහ කිරීම.
සෞඛ්‍යය
හිසකැක්කුම්, හෘද රෝග, අධි රුධිර පීඩනය වැනි ශාරීරික රෝගවල අවදානම, ප්‍රතිශක්තිකරණය දුර්වල වීම, ආමාශ ආබාධ, ආහාර රුචියේ වෙනස්කම්.
නිදාගැනීම
නින්ද රහිතවීම (insomnia) හෝ අධික නිදා ගැනීම (hypersomnia).
සිතුවිලි
ජීවිතය පිළිබඳ අගය අඩුවීම, තමා පිළිබද අවතක්සේරු වීම, අනවශ්‍ය ලෙස කේන්තිය.
අවම කරගැනීමේ ක්‍රම
- විවේක ගැනීම: භාවනා (Meditation), සතිමත් අභ්‍යාස (Mindfulness Exercise) හා ශ්වසන ව්‍යායාම (Breathing Exercise) වැනි ක්‍රියාකාරකම් ආතති ප්‍රතිචාර අඩු කර වත්මන් මොහොතේ ජීවත්වීමට උපකාරී වන අතර, ඍණාත්මක චින්තන රටාද අඩු කරයි.
- ව්‍යායාම: ව්‍යායාම කෝටිසෝල් (Cortisol) මට්ටම් අඩු කරන අතර, එන්ඩෝෆින් (endorphins) වැනි ධනාත්මක හෝමෝන නිපදවයි.
- නිසි ආහාර සහ නින්ද: යෝග්‍ය නින්ද ශරීරයේ ආතති හෝමෝන තුලනය කරයි, යෝග්‍ය ආහාර මොළයේ ක්‍රියාකාරිත්වයට උපකාරී වේ, එමගින් ශාරීරික හා මානසික යහපැවැත්මක් ලබා ගත හැක.
- සංවාද හා සමාජ සම්බන්ධතා: විශ්වාසවන්ත මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු සමඟ ඔබේ හැඟීම් බෙදාගැනීම.
- විනෝදාංශ: සංගීතය හා චිත්‍ර ඇඳීම වැනි විනෝදාංශ ක්‍රියාකාරකම් ආතති මට්ටම් අඩු කරයි.
- මනෝවිද්‍යාත්මක උපකාර: මෙය ඍණාත්මක චින්තන රටා වෙනස් කිරීමට, ආතතිය ඵලදායී ලෙස පාලනයට සහ යහපත් මානසික යහපැවැත්මකට උපකාරී වේ.
- ඖෂධ: අවශ්‍ය පරිදි මනෝ වෛද්‍ය උපකාර ලබාගැනීම.
මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර
- මනෝප්‍රතිකාර විධි (Psychotherapy) - Cognitive Behavioral Therapy (CBT): මනස තුළ ඇති අවහිරතා (cognitive distortions) හඳුනාගෙන ඒවා වෙනස් කිරීමට උපකාරී වේ.
- සංයම අභ්‍යාස (Relaxation techniques): සතිමත් අභ්‍යාස, හුස්ම ගැනීමේ අභ්‍යාස.
- මනෝ උපදේශන (Counseling): මනෝඋපදේශකවරයකු සමඟ කතා කිරීමෙන් පීඩනය නිදහස්කිරීම, පීඩාකාරිත්ව හඳුනා ගැනීම සහ නිරාකරණය.
- ඖෂධ ප්‍රතිකාර (Medication): අවශ්‍ය අවස්ථාවලදී මනෝවෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ඖෂධ ප්‍රතිකාර ලබාගැනීම.
References
American Psychiatric Association. (2022). DSM-5-TR: Diagnostic and statistical manual of mental disorders (5th ed., text rev.). https://doi.org/10.1176/appi.books.9780890425787
National Institute of Mental Health. (2020). I’m So Stressed Out! Infographic (NIMH Identifier No. OM 20-4319). U.S. Department of Health and Human Services, National Institutes of Health. Retrieved March 13, 2025, from: https://www.nimh.nih.gov/health/publications/so-stressed-out-fact-sheet
World Health Organization. (2025). doing-what-matters-in-times-of-stress, World Health Organization- Activities. Retrieved May 20, 2025, from: https://www.who.int/thailand/activities/doing-what-matters-in-times-of-stress
World Health Organization. (2023). Stress. World Health Organization. Retrieved Feb 21, 2023, from: https://www.who.int/news-room/questions-and-answers/item/stress
උපකාර ලබා ගන්න
ඔබට අවශ්‍ය විශේෂඥ මනෝවිද්‍යා උපදේශන/ප්‍රතිකාර හා සහය ලබා දීමට කොළඹ මනෝවිද්‍යාත්මක සේවා ආයතනය සූදානම්.
අමතන්න: 077 704 8942
